EDUCATION :දරුවන් කොම්පියුටර් කිරීම නවත්වමු!


කැතී පාසෙක් හා රොබර්ටා ගොලින්කෝෆ් ළමා මනෝ විද්‍යාව පිලිබඳ මහාචාර්යවරියන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා සම කතෲත්වය දරන Becoming Brilliant: What Science Tells Us About Raising Successful Children නම් අලුත්ම පොතේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය (ලංකාවද ඇතුලුව) වැනි රටවල අධ්‍යාපන ක්‍රමයේ ඇති විශාල දෝෂයක් පෙන්වා දෙනවා.

"අපේ අධ්‍යාපන ක්‍රම වලින් දරුවන් තොරතුරු හා දැනුම වමාරන පරිගණක බවට පත්කරනවා. පාසැලේ හොඳම ලකුණු ගන්නට නම් දරුවන් එසේ පුරුදු විය යුතුයි. ඒත් ඇත්තටම අපි දරුවන්ට පුරුදු කරන්නේ පරිගණකයකට කල හැකි දේම කරන්නට නොවෙයිද?"

ඇමරිකාවේ ඩෙලවෙයා විශ්වවිද්‍යාලයේ හා ටෙම්පල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවි හොබවන මොවුන් පවසන අන්දමට ගූගල් හා ස්මාර්ට්ෆෝන් නිසා ලොවේ ඇති සියලුම දැනුම සාක්කුවේ ගෙනයා හැකි යුගයක මෙවැනි අධ්‍යාපන ක්‍රමයකින් රටකට වාසියක් නැති බවයි. "අපි අද දරුවන් ගැන ගන්නා තීරණ තව අවුරුදු 20කින් රටේ ආර්ථික සමෘධිය වගේම සමාජ තත්වයත් තීරණය කරනවා..".


කැතී පාසෙක් හා රොබර්ටා ගොලින්කෝෆ් සිය පොතෙහි දරුවන් අනාගත ලෝකයට හැඩගැසුනු, දක්ෂයන් බවට පත්කල හැකි යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඔවුන් කියන්නේ දරුවන්ට දැනුම පොවනවා වෙනුවට ඔවුන් 6C ලෙස ඔවුන් හඳුන්වන කුසලතා 6ක් වර්ධනය කරගැනීමට අවස්තා සළසා දිය යුතුයි.

1] කොලැබරේෂන් (සහයෝගීතාවය) - සහයෝගයෙන් වැඩකිරීම, කණ්ඩායම් හැඟීම, අනෙකාට උදව් කිරීම හා උදව් ලබාගැනීමට හැකිවීම යනාදිය පාසලේ මෙන්ම පාසලෙන් පිටත් දරුවන්ගේ සාර්ථකත්වයට හේතුවනවා.

2] කොමියුණිකේෂන් (සන්නිවේදනය) - කියවීම, ලිවීම, කතාකිරීම, ඉදිරිපත්කිරීම ආදිය ඉතා වැදගත් කුසලතා වනවා.

3] කොන්ටෙන්ට් (දැනුම / තොරතුරු / සිද්ධාන්ත ) - කියැවීම හා ඇහුන්කන්දීම මගින්ද, ස්වාධීන හා සාමූහික ක්‍රියාකාරකම් මගින්ද ලබාදෙන දැනුම.

4] ක්‍රිටිකල් තින්කිං (විශ්ලේෂක චින්තන හැකියාව) - තමා ලබාගත් දැනුම හෝ තොරතුරු පිලිබඳව වැඩිදුර විමසීමේ, තක්සේරු කිරීමේ, සත්‍යය උපකල්පණ හා මතවාදයන් වලින් වෙන්කර ගැනීමේ හැකියාව හා එම තොරතුරු පිලිබඳව තමන්ගේ අදහස ප්‍රකාශකිරීමේ හැකියාව.

5] ක්‍රියේටිව් එනොවේෂන් (නිර්මාණශීලී නවෝත්පාදනය ) - දැනුම විශ්ලේෂණය කිරීම හා තක්සේරු කිරීමේ හැකියාව තුලින් අලුත් දැනුම හෝ අලුත් උපක්‍රම බිහිකිරීමේ හැකියාව.

6] කොන්ෆිඩන්ස් (ආත්ම විශ්වාසය ) - තමා, තම දැනුම හා හැකියාවන් පිලිබඳව ඇති විශ්වාසය හා තෘප්තිය.

ලංකාවේ තත්වය

වසර 10කට වැඩිකාළයක් සාමාන්‍ය පෙල හා උසස් පෙල පන්තිවලට උගන්වා ඉන්පසු වසර 5කට වැඩි කාලයක් විශ්වවිද්‍යාල පාඨමාලාද උගන්වන මට කිව හැක්කේ ලංකාවේ තත්වය ඉතාමත් කණගාටුදායක බවයි.

ලංකාවේ දරුවන්ගේ විනාශය ආරම්භ වන්නේ පෙරපාසැල් දිවියේදීමයි. ඇල්ෆබට් එක කටපාඩම් කිරීම, එකේ සිට සීයට ගණන්කල හැකිවීම, ලස්සනට අකුරු ලියන්නට හැකිවීම හා සීයෙන් සීයම ලකුණු ගන්නට හැකිවීම ඉලක්කය කරගත් අම්මලා හා පෙර පාසැල් ටීචර්ලා නිසා රටේ දරුපරපුර පලමුවැනි ශ්‍රේණියට යන්නේම කටපාඩම් ගිරව් ලෙසින් නොවේද?

එයින් පටන්ගන්නා කටපාඩම, වැඩි ලකුණු, ලස්සන අකුරු ලියපු පොත් මේනියාව උසස් පෙල දක්වාම යනවා නේද? අපේ සාමාන්‍යපෙල හා උසස් පෙල වැඩිවශයෙන් කටපාඩම් කිරීමේ හා ඒවා නැවත වැමෑරීමේ හැකියාව මිස විචාර බුද්ධිය, විශ්ලේෂණ හැකියාව, තර්කාණුකූල නිගමන හැකියාව, නිර්මාණශීලීත්වය මැන බලන අවස්තා නොවෙයි නේද?

ලංකාවේ පෙරපාසැල් ගුරුවරුන් හා 1,2,3 ශ්‍රේණිවල ගුරුවරුන් දරුවන්ගේ ආත්ම විශ්වාසය හා නිර්මාණශීලිත්වය විනාශකරන හැටි පිලිබඳව එකම එක පොඩි උදාහරණයක් දෙන්නම්. ඔබට මේ වයස්වල දරුවෙක් සිටීනම් ඔබටද මෙය අත්හදා බැලියහැකියි.

ගෙදරදී කරගෙන එන්නට දෙන, විභාගෙට ලකුණුදෙන අත්වැඩක් හෝ චිත්‍ර පැවරුමක් අරගන්න. 

ඒ අත්වැඩේ හෝ චිත්‍රය අඳින්නට දරුවාට මගපෙන්වීම හා අදහස් පමණක් දී හදන වැඩේ හෝ අඳින වැඩේ දරුවාටම කරන්න ඉඩ දෙන්න. එයට ගුරුවරිය දෙන ලකුණු හා ඒ ලකුණු රැගෙන එන දරුවාගේ මානසිකත්වය සොයා බලන්න.

80%-90% නිරවද්‍යව කල හැකි අනාවැකිය නම්; තනියෙන් වැඩය කල ඔබේ දරුවාට අඩු ලකුණු හා සිත්පෑරෙන විවේචනයක් දෙන ගුරුවරිය අම්මා/තාත්තා/ අක්කා / අයියා හදාදෙන අත්වැඩය හෝ ඇඳ දෙන චිත්‍රය රැගෙන දරුවන්ට වැඩි ලකුණු හා "හරිම සෝක්" යන දිරිමත් කිරීමේ කොමෙන්ටුද ලැබෙන බවයි.

මෙහෙව් රටක ක්‍රිටිකල් තින්කින් හා ක්‍රියේටිව් ඉනොවේෂන් හැකියාවන් දියුණුකරන අධ්‍යාපන ක්‍රමයක් සිහිනයක් පමණක්ය. දෙමව්පියන්ට ඕනෑ ලකුණු සීයෙන් සීය මිස වෙන කිසිවක් නොවේ.

වනපොත් කොට 100යෙන් 100ය ගන්නා දරුවන් එලෙසම උසස් පෙල දක්වා යනවා. වැඩියෙන්ම වනපොත් කල හැකි, පොතේ ඇති සියල්ල එලෙසම මතක ඇති දරුවන් වැඩිම Z ස්කෝර් ලබාගෙන විශ්වවිද්‍යාලයට ඇතුලත්වෙනවා. 

කොතරම් විවේචන තිබුණත් ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පාසැල් අධ්‍යාපනයට වඩා වෙනස්. කණ්ඩායම් පැවරුම්, නිර්මාණ බිහිකිරීමේ පැවරුම්, විශ්ලේෂණ හා විවේචන පැවරුම්, ඉදිරිපත්කිරීම් හා රඟදැක්වීම් බොහෝ සෙයින් ඇතුලත් විශ්වවිද්‍යාල ක්‍රමයට හැඩගැසීමට දරුවන් දැඩි අපහසුවක් දක්වන බව මට අත්දැකීමෙන් කියන්න පුලුවන්.

මුලු වාරයේම ලියාගත් සටහන් කටපාඩම් කොට විභාගයට ලියා A සාමාර්ථ ගත් දරුවන්ට සමහර විශ්වවිද්‍යාල පාඨමාළාවල විභාගෙට 50% ඉතුරු ලකුණු 50% එන්නේ කණ්ඩායම් පැවරුම්වලින් යයි දැන ගැනීමම සමහරවිට කම්පණයක්. කණ්ඩායම් ක්‍රීඩාවලට සහභාගීවූ දරුවන් හැරෙන්නට පාසැල් දිවියේ සමූහ ඉලක්කයක් කරා කණ්ඩායමක් ලෙස වැඩකොට හුරු නැති මේ දරුවන් ඉතා සරල කණ්ඩායම් ක්‍රියාකාරකම් පවා කරන්නේ අපහසුවෙන්. එකේනෙකා ගැන ඇති අවිශ්වාසය, ආර්ත්මාර්ථය, ගැහැණු ලමුන්ට පිරිමි ලමුන් හා එක්ව එකට වැඩකිරීමේ අපහසුව, යනාදිය මෙයින් ප්‍රධානයි. වගකීම් බෙදාගැනීම, කණ්ඩායම වෙනුවෙන් පෞද්ගලික කාළය කැප කිරීම මේ දරුවන්ට මුලදී බොහෝ අපහසු වනවා.

ඉදිරිපත් කිරීම, සම්මුඛ සාකච්ඡා පවත්වා තොරතුරු ලබාගැනීම. දුරකථන ඇමතුම් හා අන්තර්ජාල සෙවුම් වලින් තොරතුරු ලබාගැනීමේ හැකියාවන් අතින්ද දරුවන් ඉතාමත් දුර්වලයි.

අවසාන වශයෙන් කිව හැක්කේ මේ ක්‍රමය වෙනස් කිරීමට පවතින කිසිම රජයක් උත්සහ නොදැරිය යුතු බවයි. 

මීට පෙරද ඉතා සාධනීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලට සිදුවූ සංතෑසිය හා ඒවා පිලිබඳව මූලිකත්වය ගත් අධ්‍යාපනවේදීන්ගේ පෞද්ගලික ජීවිත වලට පවා මඩගැසූ නූගත් මාධ්‍ය ගෝතයින් සිටින රටක ක්‍රමය වෙනස් කිරීමට යාම සියතින් වලකපා ගැනීමක් ,සයිටම් ගෝරිය වැනිම මහා කුණුගොඩක් කරතබා ගැනීමක් පමණක්ම වනවා. 

ශ්‍රී ලාංකිකයින් යනු, හනමිටි කඳු කරේතියාගෙන යන, අන්ධවිශ්වාසයෙන් හා කිසිදු හෙවිල්ලකින් බැලිල්ලකින් තොරව සියල්ල විවේචනය කරන, හැම විටම අනුන් තමන්ව වැට්ටවීමට, වඳ කිරීමට හෝ අල්ලා ගැනීමට බලාසිටිනවා යන මානසික ව්‍යාධියෙන් පෙලෙන, අතීතකාමය රෝගයක් තරමට උත්සන්න වූ හැමදේම ආණ්ඩුවකට කල හැකියයි විශ්වාස කරන මෝඩ රැළක් බව ශ්‍රී ලාංකිකයන් වන අප වටහා ගත යුතුය.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments