අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

HISTORY : අවුරුදු 3500ක් පරණ කෑම පෙට්ටිය!!


අවුරුදු 3500කට පෙර ස්විට්සර්ලන්ත-ජර්මන් දේශසීමා ආසන්නයේ අති දුෂ්කර ස්විස් ඇල්ප්ස් කඳුවැටිය තරණය කරමින් සිටිය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සතුව තිබූ ලීයෙන් කල කෑම පෙට්ටියක් පුරාවිද්‍යාඥයින්ට හමුවී තිබෙනවා. ලෝට්ෂෙන් කපොල්ල ලෙස හැඳින්වෙන මෙම ප්‍රදේශයේ වසර දහස් ගණනක් දැඩි හිම තට්ටුවලින් වැසී තිබුණත්, ගෝලීය උණුසුම්කරණය නිසා දැන් හිම දියවෙමින් පවතින බැවින් මෙවැනි කෞතුක වටිනාකමක් ඇති පෞරාණික වස්තූන් සොයාගැනීමට හැකිවෙමින් තිබෙනවා.

වසර 3500කට පෙර ලෝකඩ යුගයේ නිර්මාණයක් වන මෙය. ස්විස් පයින් හා යුරෝපීය ලාර්ච් නම් ගස්වල ලීයෙන් නිමවා ඇති මෙය විශ්ලේෂණය කල විද්‍යාඥයින්ට එය තුල තිබී ස්පෙල්ට් හා එමර් යන වර්ගවල තිරිඟු හා බාර්ලි ධාන්‍යයේ යැයි සිතිය හැකි ජාන සළකුණු හමුවී තිබෙනවා. ඒ අනුවයි මෙය කෑම පෙට්ටියක් බවට ඔවුන් නිගමනය කරලා තියෙන්නේ. 

ජර්මනියේ Max Planck Institute for the Science of Human History පර්යේෂණ ආයතනයේදී මේ අපූරු කෑම පෙට්ටිය පිලිබඳව වැඩිදුර පර්යේෂණ පැවැත්වෙනවා.



ලෝකඩ යුගය වනවිට කෑම බීම ප්‍රවාහණය සඳහා පිලිස්සූ මැටි බඳුන් යොදාගත්තද මේ අධික ශීතල ඇති ගිරිදුර්ග කපොල්ල පසුකර දුෂ්කර ගමණක් යන්නවුන් ලීයෙන් තැනූ කෑම පෙට්ටි ගෙන යන්නට ඇත්තේ ඒවා ඉතා සැහැල්ලු නිසා වන්නට පුලුවන්. අදටත් විනෝදාංශයක් ලෙස දීර්ඝ ඇවිදීම් (හයිකිං) වල යෙදෙන්නන් තමන් ගෙන යන බර පිලිබඳව දැඩි සැළකිල්ලක් දක්වන්නේ වෙහෙසට පත්වූ විට වැඩි බර රැගෙන යාම ඉතා අපහසු නිසා. ලෝකඩ යුගයේ ජීවත්වූ නූතන හෝමෝ සැපියන් මානවයින්ද අප මෙන්ම බුද්ධිමත් නිසා ඔවුන්ද එලස කල්පණාකොට දිගු ගමන් සැළසුම් කරන්නට ඇති.

මීට පෙර මේ ආසන්න ප්‍රදේශයෙන් යුරෝපයේ පැණිම මමීකෘත මිනිසා ලෙස සැළකෙන ඔට්සිගේ දේහය සොයා ගත්තා.

කෑම පෙට්ටිය හමුවූ ලොට්ෂෙන් කපොල්ල 




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments