HISTORY : නම වගේම අපූරු ඉතිහාසයක් ඇති ඇඩිෂම් බංගලාව


කොළඹ, බදුල්ල (A4) ප්‍රධාන මාර්ගයේ, කිලෝමීටර් 186 පමණ ගමන් කළ පසු හපුතලේ නගරය හමුවේ. හපුතලේ නගරයේ සිට දිවෙන බොරලන්ද මාර්ගයේ කිලෝමීටර් 04ක් ගියවිට ඇඩිෂම් බංගලාව (දැන් ශාන්ත බෙනෙඩික්ට් නිකායේ තාපසාරාමය ) හමුවේ.තංගමලේ නම් ප්‍රදේශයේ පිහිටා ඇති මෙය තංගමලේ කුරුළු අභයභූමිය ප්‍රදේශයටද අයත්වේ. එමෙන්ම මේ තාපසාරාමයෙන් දකුණු පසට වන්නට වගාකරන ලද ටර්පන්ටයින් වනාන්තරයක්ද දකින්නට ලැබේ.

මෙය මනරම් ගොඩනැගිල්ලේ නිර්මාපකයා ලෙස සර් තෝමස් ලිස්ටර් විලියස්ගේ නම සටහන් වී ඇත. ඔහු 1869 වර්ෂයේ එංගලන්තයේ කෙන්ට්හි ඇඩිෂම් ග්‍රාමයේ උපත ලැබූවෙකි. බ්‍රිතාන්‍යයේ නමගිය ප්‍රභූ පවුලක උපත ලැබුව ලිස්ටර් එන්ගලන්තයේ සුන්දරම පලාත ලෙස සැළකෙන් කෙන්ට් පලාතේ සිය උපන් ගම වූ ඇඩිෂම් ගමට ඉතාමත් ආශා කල බව පැවසෙනවා. ස්වෝත්සාහයෙන් ධනවත්වූ පසු කෙන්ට් පලාතේ දේශගුණයට සමාන දේශගුණයක් ඇති හපුතලේ තංගමලේ පෙදෙසේ ඇඩිෂම් නමින් සුවිසල් මන්දිරයක් තනාගන්නට මේ ලැදියාව හේතුවූ බව පැවසෙනවා.

එකල ප්‍රභූ පවුල්වල සම්ප්‍රදායට අනුව පිරිමි දරුවන් සිය අනන්‍යතාවය හා ධනය තමන් විසින්ම ගොඩනගා ගැනීමට පුරුදු වී සිටියා. ස්වෝත්සාහයෙන් ධනවත් වන්නට, ප්‍රසිද්ධ වන්නට, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට හා කිරීටයට නොමැකෙන සේවාවක් සිදුකොට රජුගෙන්/රැජිණගෙන් නයිට් නාමයක් හෝ වෙනත් නම්බුනාමයක් දිනාගැනීම මේ ප්‍රභූ තරුණයින්ගේ බලවත් ආශාව වූවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ලොව පුරා විසිරුණු කොළණි මොවුන් ආකර්ෂණය කරගත් අතර එම යටත් විජිත රාජ්‍යයන් වල වැවිලිකරුවන්, රාජ්‍ය නිළධාරීන්, කර්මාණ්තකරුවන්, ආනයන-අපනයනකරුවන්, කැරළි-කෝලහාල මැඩපැවැත්වූ සෙන්පතියන්, ඉන්ජිනේරුවන්, ගොඩනැගිලි නිර්මාපකයින් ආදී වශයෙන් විවිධ වෘත්තීන් තෝරාගත් මොවුන් බ්‍රිතාන්‍යයේ ගතකල සැපවත් ජීවිත අතහැර දමා එම යටත්විජිතවල පදිංචියට ආවා.

ඒ අනුව තෝමස් ලිස්ටර් විලියස්ද, පාසැල් අධ්‍යාපනයෙන් පසු සිය වෘත්තීය වශයෙන් වතු පරිපාලනය තෝරාගෙන මුල්ම රැකියාව වශයෙන් ශ්‍රී ලංකාවේ බොගවන්තලාව ඇල්බැද්ද වතුයායේ ආධුනික වතුපාලකයෙකු ලෙස 1887 වර්ෂයේදී එක් වී ඇත. ඒ අන්දමට සේවයේ නියුතුව සිටියදී ඔහුට සමකාලීන වැවිලිකරුවෙකු වූ ඩබ්.එච්.වෝකර්  හමුවෙයි. ඒ ඔස්සේ ගොඩනැගෙන සබඳතාවයකින් පසුව වෝකර් මහතාගේ දියණිය වූ එමලින් සමග තෝමස් ලිස්ටර් විවාහවී තිබේ. නුවර එළියේ හෝලි ට්‍රිනිටි දෙව්මැදුරේදී මේ විවාහය සිදුවූ බව පැවසෙනවා.

1900 වර්ෂයේදී විලියර්ස් මහතා ඔහුගේ සහෝදරයා සමග එක්වී දික්ඔය වතුයාය මිලට ගනිමින් වතුහිමි වැවිලිකරුවෙකු බවට පත්වනවා. එසේ වැවිලි ක්ෂේත්‍ර‘යේ දිනෙන් දිනම දියුණු වූ ඔහු 1905දී කොටස් හිමියෙකු හා තේ සැපයුම්කරුවෙකු ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම හා සම්බන්ධ වෙනවා. 1835දී ස්ටුවර්ට් සොයුරන් විසින් කෝපි අපනයනය සඳහා ආරම්භකල ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම, කෝපි වගාවේ විනාශයෙන් පසු ලංකාවේ තේ වගාවට අතගැසූ පුරෝගාමී සමාගමක් වනවා. සමාගම් ලියාපදිංචි වාර්තා අනුව ලංකාවේ පැරණිම වාණිජ සමාගම වන මේ සමාගමේ සභාපති තනතුර දක්වා ගමන් කරන්නට තෝමස් ලිස්ටර් විලියස්ට හැකිවනවා.1928දී ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපති ලෙස පත්වන ලිස්ටර් විලියර්ස් 1949දී විශ්‍රාම යනතෙක්ම මේ දැවැන්ත සමාගමේ සභාපති ලෙස කටයුතු කරනු ලැබුවා.



ඇඩිෂම් බංගලාවේ ඉදිකිරීම් කටයුතු 1929දී ඇරබූ අතර 1931දී අවසන් වනවා.  සර් විලියර්ස්ගේ සිහිනය වූයේ ඔහු උපන් ගමේ, බාල විය ගෙවන ලද මන්දිරය සිහිපත්වීම පිණිස මෙරට තුළ එවැනි මන්දිරයක් ඉදිකිරීමය. ඒ සඳහා ඔහු තෝරාගන්නා ලද්දේ හපුතලේ තංගමලේ ප්‍රදේශයයි. මෙය මුහුදු මට්ටමේ සිට අඩි 5000ක් පමණ උසින් යුක්ත වන් අතර මෙම ස්ථානයට බදුලු පුරවරය වටකරගෙන තිබෙන නමුනුකුල, පිදුරුතලාගල සහ තොටුපොළ කන්ද යන කඳු ඇතුලත් ඌව ද්‍රෝණිය මනාව දිස්වෙනවා.

Tudor ගෘහ නිර්මාණශිල්පීය ආකෘතියට අනුව, විලියර්ස් උපන් කෙන්ට් පලාතේ කෙන්ට් මාළිගාවේ අනුරුවක් ලෙස දිස්වන ආකාරයට මෙය තනා තිබෙනවා.

මෙම මන්දිරය තැනීම සඳහා ඉංජිනේරුවන් ගෙන්වා ඇත්තේ එංගලන්තයෙන් බවත් කම්කරුවන් ගෙන්වා ඇත්තේ උතුරු ඉන්දියාවෙන් බවත් ජනප්‍රවාදයේ සඳහන් වනවා. එමෙන්ම මන්දිරයට යොදා තිබෙන ඔපමට්ටම් කළ කළුගල් ගෙන්වා තිබෙන්නෙත් එංගලන්තයෙනි. මෙම මන්දිරයේ වහලය තනා ඇත්තේ බුරුම තේක්ක ලීවලින් සාදපු විශේෂිත උලු වර්ගයකිනි. මෙහි පියගැටපෙළ නිර්මාණය කර ඇත්තේ එංගලන්තයේ බකිම් හැම් පැලස් හි පියගැට පෙළ ආකාරයටය. මන්දිරයට අවශ්‍ය කරන බුමුතුරුණු ගෙන්වා තිබෙනුයේ පර්සියාවෙනි. මෙහි තිබෙන්නාවූ අැතැම් සෝෆා (පුටු) සාදා ඇත්තේ ඔටු හමෙනි. වහලයේ  පිහිටි සුළං කවුලු තුළින් හමන සුළඟ විශේෂිත නල මගින් ගමන් කරවා ඒවා ගිනි උඳුන තුළට යවා ඒ වායු ධාරා මගින් කාමර උණුසුම් කරන දියුණු ක්‍රම‘වේදයක් සහිතව නිමවා තිබුණි..

මෙම මන්දිරයේ තිබෙන තවත් සුවිශේෂි ස්ථානයක් වන්නේ බොයිලේරුව පිහිටි කාමරයයි. ඉහළ කඳු මුදුනේ සිට නළ මාර්ග මගින් පොම්ප කරන ජලය ඉහළ මාලයට පවා පොම්ප කිරීමට හැකි පරිදි එය නිර්මාණය කොට තිබේ.

බංගලාවේ තිබෙන ප්‍රධානතම අංගය වන්නේ තෝමස් මහතාගේ රුව සහිත චිත්‍රයයි. ඩේවිඩ් පේන්ටර් නම් වූ ඉංග්‍රීසි ජාතිකයා එම සිතුවම් චිත්‍රයට නගා තිබෙන්නේ මෝනාලිසාගේ චිත්‍රයට සමානවය. මොනාලිසාගේ චිත්‍ර‘යේ ඇස් අප කෙහේසිට ලැබුවත් අපදෙස බලා සිටිනවා සේ පෙනෙන ආකාරයටත් මෙම චිත්‍රය අප යන අතට හැරෙනවා සේ පෙනෙන ආකාරයටත් සිතුවම් කර ඇත.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments