SOCIAL MEDIA : සකර්බර්ග් අධිරාජ්‍යයේ මීලඟ ගොදුර | Zuckerberg empire stikes again


ෆේස් බුක් සමාජජාලයේ සාමාජික සංඛ්‍යාව බිලියන 2කට අධිකයි. මාර්ක් සකර්බර්ගේ විශ්වවිද්‍යාල ව්‍යාපෘතියේ වර්ධනය කොතරම්ද යත් එය අද වනවිට ලොව බලසම්පන්නම සමාගමක්. ඩොලර් බිලියන 28ක ආදායමක් හා ඩොලර් බිලියන 10ක ශුද්ධ ලාභයක් ලබා ඇති ෆේස්බුක් අධිරාජ්‍යය මේවන විට වට්ස්-ඇප්, ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් ආදී ජනප්‍රිය සේවා ගණනාවක අයිතිකරුද වනවා.

ලෝකයේ බොහෝ දෙනාගේ, විශේෂයෙන්ම තරුණ පරම්පරාවේ කාළය කාදැමීමට හේතුවන, අනවශ්‍ය සබඳතාවලට පැටලීමට, පරපීඩකයින් අතින් පීඩාවට පත්වීමට මෙන්ම ලිංගිකව අපයෝජනයට හා මෙවැනි හේතූන් මත සියදිවි හානිකරගැනීමට පවා පෙළැඹවීම් ඇතිකරන සැබැවින්ම සමාජ ව්‍යාධියක් බවට පත්ව ඇති ෆේස්බුක් ලොව පුරා අන්තවාදී මත පැතිරවීමට, ව්‍යාජ ප්‍රවෘත්ති පැතිරවීමට හා ජාතිවාදී ගැටුම් ඇවිස්සවීම සඳහාද විවිධ අවස්ථාවාදීන් යොදා ගන්නවා. 

ලංකාවේත් විවිධාකාරයේ දේශපාලන අවස්ථාවාදීන්ගේ, අරාජිකවාදීන්ගේ (anarchists) හා ජාතිවාදීන්ගේ තෝතැන්නක් බවට ෆේස්බුක් පත්ව තිබෙනවා.

මෙවැනි කීර්තියක් ඇති ෆේස්බුක් දැන්, මෙතෙක් කල් ඉලක්ක නොකල අලුත්ම සමාජ කොටසක් ඉලක්ක කරගැනීම පටන් අරගෙන තියෙනවා. එනම් බාළවයස්කාර දරුවන් ඉලක්ක කරගැනීම නිළවශයෙන්ම ඇරඹීමයි. මේ සඳහා 100කට අධික මෘදුකාංග නිර්මාණකරුවන් පිරිසක් යොදවා ඇති බවයි වාර්තාවන්නේ.


මේ ආක්‍රමණයේ මුල් පියවර ලෙස දරුවන් ඉලක්ක කරගනිමින් Messenger Kids ලෙසින් නම් කෙරූ පණිවුඩ වැඩසටහනක් නොබෝදා එලිදැක්වූවා. වයස 8-12 දරුවන් ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇති මැසෙන්ජර් කිඩ්ස් ඇප් එකෙහි ලියාපදිංචිය සඳහා සිය දෙමව්පියන්ගේ දුරකථන අංකය යොදා ගැනීමට දරුවන්ට ඉඩ ලැබෙනවා. 

ෆේස්බුක් පාලනාධිකාරිය මොන ආකාරයෙන් මේ අලුත් ව්‍යායාමය අර්තදැක්වූවත් සැබැවින්ම සිදුවන්නේ දැනටත් සිය මිතුරු මිතුරියන් සමග එකට වාඩිවී වචනයක් වත් නොදොඩා ස්මාර්ට්ෆෝන් තිරය දෙස බලාගෙන බුම්මාගෙන සිටිනා අභූත පරම්පරාවට තවත් ලාබාල නියැදියක් එකතුවීම පමණකි. අම්මා තාත්තා හදිස්සියකට කතාකලත් ෆෝන් එක අතහැර නැගිටින්න අකමැති, සුනාමියක් ආවත් දන්නේ නැති ෆෝන් ගුල්ලන් දැන් නම් සමාජ ව්‍යාධියක් වෙලා වගේ කියලා හිතෙනවා.

ලයික් ගණිමින්, කොමෙන්ට් කියවමින්, ඉමෝජී හරහා සිය හැඟීම් ප්‍රකාශකරමින්, වචනවල වටිනාකම පවා ඉගෙන නොගන්නා, ඉක්මණින් දුක්වෙන, ලැජ්ජාවෙන, ලයික් ගණනින් දවසේ සුබ අසුබ තීරණය කරන මෝඩ පරම්පරාවකට තවත් ගොන්නක් එකතුවීම නියතයි. 

සකර්බර්ග් අධිරාජ්‍යය අනුන්ගේ දරුවන්ට ලබාදී ඇති අනාගතය එසේ වුවත් මොවුන් කිසිවිටකත් තමන්ගේ දරුවන් මේ පඹගාලෙහි පැටලෙන්න්ට ඉඩ දෙන්නේ නෑ. තාක්ෂණ ලෝකයේ දැවැන්තයන් බොහෝ දෙනෙකු තමන්ගේම දරුවන්ට ස්මාර්ට්ෆෝනයක්, ටැබ්ලටයක් ලබා දෙන්නේ ඔවුන් කරුණු අවබෝධකර ගත හැකි යම් ආකාරයක මුහුකුරාගිය  වයසක් පසුකිරීමෙන් පමණයි. 

එයට එක් උදාහරණයක් බිල් ගේට්ස්. බිල් ගේට්ස්ගේ පෞද්ගලික වත්කම ඩොලර් බිලියන 86ක් වන අතර ඔහුගේ දරුවන් හැදෙන්නේ වැඩෙන්නේ ඩොලර් මිලියන 125ක බරපැනෙන් ඔහු විසින්ම නිර්මාණය කල අධිතාක්ෂණික නිවසක.

එහෙම වුනත් 2017 අප්‍රේල් 23 වැනිදා බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත වාර්තාකල අන්දමට බිල් ගේට්ස් සිය දරුවන්ට ස්මාර්ට්ෆෝනයක් ලබා දුන්නේ ඔවුන් වයස 14 පසුකල විටයි. එමෙන්ම ඔහුගේ දරුවන් තිදෙනාටම රාත්‍රියේ එක් වේලාවකින් පසු පරිගණක, ස්මාර්ට්ෆෝන් හෝ ටැබ්ලට් භාවිතය තහනම් කොට ඇත්තේ ඔවුන්ට රාත්‍රියේ නිසි නින්දක් ලබාදීම සඳහායි.

ඒවගේම පවුලේ අය එකට කෑම ගන්න කිසිම වෙලාවක ස්මාර්ට්ෆෝනයක් ඇල්ලීම, ඇමතුම් වලට පිලිතුරුදීම ආදිය බිල් ගේට්ස් නිවසේ සපුරා තහනම් කොට තිබෙනවා.




ගේට්ස් පවුල - වයස 14 වෙනකම් ස්මාර්ට් ෆෝන් බෑ - රෑ 10න් පස්සේ ෆෝන්, ටැබ්ලට්, ලැප්ටොප් අල්ලාගෙන සිටීම තහනම්
බිල් ගේට්ස් එහෙම වුනත් අපේ අධිතාක්ෂණික අම්මිලා තාත්තිලා බබා නලවගන්න, කෑම කවාගන්න වගේම බබාගෙන් කරදරයක් නැතුව වැඩක් කරගන්නත් ඔවුන්ගේ අතට දෙන්නේ මේ ස්මාර්ට්ෆෝන් එක.


__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments