TV SERIES : Stargate Origins - ස්ටාර්ගේට් යන්ත්‍ර කාගේ නිර්මාණයක්ද?


Stargate Origins - අලුත්ම ටී.වී සීරීස් එක

වසර 20ක් පුරා දිවුනු ස්ටාර්ගේට් ටීවී සීරීස් එකේ අලුත්ම සීරීස් එක මේ වසරේ සරත් සෘතුවෙන් ආරම්භවන නව ටීවී සීරීස් සමයේදී එලි දක්වන බව MGM සමාගම අද ප්‍රකාශකලා. ඇමරිකාවේ සැන් ඩියේගෝ නුවර දැන් පැවැත්වෙන San Diego ComiCon උළෙලේ ස්ටාර්ගේට් 20වැනි සංවස්තර සැමරුමේදී මෙම හෙලිදැක්වීම සිදුවුනා.

Stargate Origins ලෙස නම් තබා ඇති මෙම සීරීස් එක වෙබ්-කාස්ටින් ක්‍රමයට වෙබ් අඩවියක් හරහා නැරඹිය හැකි වන අතර පලමු සීසන් එකේදී එක් එපිසෝඩයක් විනාඩි 10කට සීමාවූ එපිසෝඩ 10කින් යුතුවනවා. එයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව දීර්ඝ එපිසෝඩ රැගත් දෙවැනි සීසන් එක එලිදක්වන බවයි එම්.ජි.එම් සමාගම පවසන්නේ.

වසර 20කට පෙර ස්ටාර්ගේට් කථාමාලාව ඇරඹුනේ 1994දී තිරගතවුනු රෝලන්ඩ් එමරික්ගේ ස්ටාර්ගේට් චිත්‍රපටයේ දිගුවක් ලෙසයි. ඊජිප්තුවේ පැරණි මිසර රාජ්ධානියේ තිබී සොයාගත් වළලාකාර තාරකා දොරටුවක් ක්‍රියාත්මක කරවීමට, එහි හයරොග්ලිෆික් අක්ෂර කියවීම සඳහා ගෙන්වාගත් ඩැනියෙල් ජැක්සන් නම් පැරණි මිසර අක්ෂර විශේෂඥයා හා කණ්ඩායමක් එම තාරකා දොරටුව ක්‍රියාත්මක කොට එය හරහා වෙනත් ග්‍රහලොවකට ගමන් කිරීමේ තේමාව මුල්කරගෙනයි ස්ටාර්ගෙට් චිත්‍රපටය නිර්මාණය වන්නේ. එයට ලැබුනු අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරය නිසා එය ටීවී සීරීස් එකක් ලෙස ඉදිරිපත් කිරීමට චිත්‍රපට නිෂ්පාදක එම්.ජී.එම් සමාගම හා විද්‍යා ප්‍රබන්ධ සඳහා වෙන්වූ ටීවී චැනලයක් වන SyFy චැනලය  ක්‍රියාකල අතර වසර 20කට අධික කාලයක් ස්ටාර්ගේට් වෘතාන්තය දිග හැරුනා.

Stargate Origins කතාමාලාව, 1994දී තිරගත වුනු පලමු ස්ටාර්ගේට් චිත්‍රපටයේ පසුබිම් කතාව, එනම් ප්‍රීක්වල්  සිද්ධිමාලාව වටා ගොඩනැගෙනවා.

මේ සීරීස් එකේ පලමුවෙනි ට්‍රේලර් එක දැන් නිකුත්වෙලා.




ස්ටාර්ගේට් එකක් කියන්නේ මොකක්ද? මේවා හැදුවේ කවුරුන්ද?

ස්ටාර්ගේට් ප්‍රබන්ධමය විශ්වයේ ප්‍රධානම තේමාව වන්නේ ස්ටාර්ගේට්ස් නැතිනම් ඇස්ට්‍රියා පෝර්ටා කියලා හඳුන්වන, වෙනත් සෞරග්‍ර මණ්ඩලවල ඇති ජීවියට සුදුසු ග්‍රහලෝකවලට ගමන්කල හැකි මාර්ගයක් සකසන යන්ත්‍රයක්.

ස්ටාර්ගේට් ටී.වී සීරීස් එකට ඇල්මක් දක්වන බොහෝ දෙනෙක් දන්න විධියට ස්ටාර්ගේට් එකක් කියන්නේ වෙත ග්‍රහලෝකයක ඇති තවත් ස්ටාර්ගේට් එකක් දක්වා පණු සිදුරක් නැතිනම් අයින්ස්ටයින්-රෝසන් බ්‍රිජ් එකක් නිර්මාණය කරන අධිතාක්ෂණික යන්ත්‍රයක්.

මේවා නිර්මාණය කරලා තියෙන්නේ අවුරුදු මිලියන ගණනකට පෙර ජීවී තත්වෙයේ සිටි ඒන්ෂන්ට්ස් නැතිනම් පෞරාණිකයින් ලෙස හඳුන්වන අතිශයින්ම දියුණු ශිෂ්ඨාචාරයක්. මේ ශිෂ්ඨාචාරය දැන් භෞතික මට්ටමින් මිදිලා ශක්ති ජීවීන් (energy beings) බවට පරිවර්තනය වෙලා. ඒන්ෂන්ට්ලා අවුරුදු මිලියන ගණනකට පෙර පෘථිවියේ ඇන්ටාර්ක්ටිකාවේ ස්ටාර්ගේට් එකක් සවිකරලා තියෙනවා. ස්ටාර්ගේට් චිත්‍රපටයට හා ඉන් පසුව ස්ටාර්ගේට් ටීවී සීරීස් එකට පාදක වුනු, ඊජිප්තුවේ ගීසා වලින් සොයාගත් ස්ටාර්ගේට් එක පෘථිවියට ගෙනල්ලා සවිකරලා තියෙන්නේ රා නමින් හඳුන්වන වෙනත් ජීවියෙක්.

ඒන්ෂන්ට්වරු ක්ෂීරපථයේ කාබන් ජීවයට සුදුසු ග්‍රහලෝක දස දහස් ගණනක ස්ටාර්ගේට් සවිකරලා තියෙනවා. මේ ග්‍රහලෝකවලට ස්ටාර්ගේට් යන්ත්‍ර සවිකරලා ඒවායේ තොරතුරු දත්තගබඩා වලට ඇතුලු කරලා තියෙන්නේ ඒන්ෂන්ට් වරුන් නිර්මාණය කල "seed ships" ලෙසින් හැඳින්වෙන , කෘත්‍රිම බුද්ධියෙන් යුතු අභ්‍යවකාශ යානාවලින්. මෙවැනි යානා දහස් ගණනක් ඒන්ෂන්ට්වරුන් විශ්වය පුරාම යවලා තියෙනවා.

ස්ටාර්ගේට් යන්ත්‍රයක ඩයල් හෝම් ඩිවයිස් එක
ස්ටාර්ගේට් එකක් ස්ථාපනය කරන්නට සුදුසු ග්‍රහලෝකයක් හමුවුනාම එය මත ස්වයංක්‍රීයවම ස්ටාර්ගෙට් එකක් සවිකරන සීඩ් ෂිප් යානා, විශ්වය පුරාවිහිදුනු ස්ටාර්ගේට් පද්ධතියටම එම ස්ටාර්ගේට් එකේ ස්ථානය පිලිබඳව තොරතුරු (stargate address) සම්ප්‍රේෂණය කරනවා.

නක්වඩාහ් නම් අතිශයින්ම ශක්තිමත් ලෝහයකින් නිර්මාණය කර ඇති ස්ටාර්ගේට් බොහෝ විනාශයන්ට හා ප්‍රහාරයන්ට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර තිබෙනවා. ස්ටාර්ගේට් එකෙන් යන්නට අදහස් කරන අනෙක් ස්ටාර්ගෙට් එකේ තොරතුරු ඇතුලු කරන්නේ "Dial Home Device" නම් පෙඩෙස්ටලයක් මෙන් පෙනෙන යන්ත්‍රයකට. 




1947දී ඊජිප්තුවේ ගීසා වලින් හමුවුනු ස්ටාර්ගේට් එකේ ඩයල් හෝම් ඩිවයිස් එක විනාශවෙලා තිබුණා. ඒ නිසා එය පිලිබඳව පර්යේෂණ කල ඇමරිකන් ගුවන් හමුදාව ඩයලින් කම්පියුටර් නම් පරිගණකයක් නිර්මාණය කලා ස්ටාර්ගේට් එක ක්‍රියාත්මක කරවන්නට. මෙහි නිර්මාණයට දායක වුනු සමන්තා කාටර් විද්‍යාඥවරිය සඳහන් කරන ආකාරයට ඩයලින් පරිගණක වැඩසටහන සාර්ථකව නිර්මාණය කරගැනීමට ඔවුන්ට සුපිරි පරිගණක දෙකක් යොදාගෙන වසර 15ක් විවිධ ගණනය කිරීම් කරන්නට සිදුවුනා.

නියමිත ලෙස ස්ථාපනය වූ ස්ටාර්ගේට් එකකට බලය ලබාදෙන්නේ ඩයල් හෝම් ඩිවයිසය මගින්. එහි ඇති කොන්ට්‍රෝල් ක්‍රිස්ටල්ස් නම් අතිශයින්ම බලසම්පන්න පාලන පරිගණක මගින් තත්පරයට ගණනය කිරීම් බිලියන ගණනක් සිදුකරලා ගමන් කරන්නාට ඇතුලු කල ස්ටාර්ගේට් එක ඒ මොහොතේ විශ්වයේ තිබෙන ස්ථානය නිවැරදිව නිශ්චය කරගෙන පණු සිදුර විවෘත කරනවා.

පෘථිවිය හා සමාන ග්‍රහලෝකයක ඇති ස්ටාර්ගේට් යන්ත්‍රය හා ඩයල් හෝම් ඩිවයිසය
ඩයල් හෝම් ඩිවයිසයක් විනාශවූ ස්ටාර්ගේට් එකක් ඇති ග්‍රහලෝකයකට වුනත් පණුසිදුරක් සාදා ගන්නට අනෙක් පස ඇති ස්ටාර්ගේට් එකට හැකි වුනත්, එම ග්‍රහලෝකයට ගිය අයට ආපසු මව් ග්‍රහලෝකයට පැමිණෙන්නට හැකියාවක් නෑ. එහෙම වෙන්නේ ස්ටාර්ගේට් එකෙන් පිටට යන්න එය ක්‍රියාත්මක කරන්නෙත්, බලය ලබා දෙන්නෙත් ඩයල් හෝම් ඩිවයිසයෙන් නිසා.




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments