FILM : Star Wars - Last Jedi අවස්ථා සම්බන්ධය


ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ස්ටාර් වෝස් සිනමා විශ්වයේ අලුත්ම සිත්තම වන මේ කතාවේ මුල මැද අග තේරුම් ගන්න නම් ස්ටාර් වෝස් චිත්‍රපට මාලාව මුල ඉඳන්ම බලන්න ඕනෑ. මුල්ම ස්ටාර් වෝස් චිත්‍රපටය එලිදැක්වුනේ 1977 තරම් ඈතකදී. 1977 ඉඳන් මේ වෙනකොට චිත්‍රපට 8කුත්, සබැඳි චිත්‍රපටයකුත් ඇතුලුව ප්‍රධාන චිත්‍රපට 9කින් ස්ටාර් වෝස් සිනමා විශ්වය හැඩගැන්විලා තියෙනවා.

ඔක්කොම චිත්‍රපට ගැන කතාකරන එක ප්‍රායෝගික නැති නිසා 2015 එලි දැක්වුනු "ද ෆෝස් අවේකන්ස්" චිත්‍රපටයයි, දැන් තිරගත වෙන "ද ලාස්ට් ජෙඩායි" චිත්‍රපටයයි සම්බන්ධවන ආකාරයත්, ඒ දෙකම 1983දී තිරගත වුනු "ස්ටාර් වෝස් : ද රිටර්න් ඔෆ් ද ජෙඩායි" චිත්‍රපටයට සම්බන්ධ වෙන ආකාරයත් කෙටියෙන් පැහැදිලි කරන්නම්.

ද රිටර්න් ඔෆ් ද ඩෙජායි - 1983

මීට අවුරුදු 34කට කලින්, එනම් 1983දී තිරගත වුනු "ද රිටර්න් ඔෆ් ද ජෙඩායි" චිත්‍රපටයේ සිදුවීම් 2015 තිරගතවුනු "ද ෆෝස් අවේකන්ස් චිත්‍රපටයට" හා දැන් තිරගත වෙන "ද ලාස්ට් ජෙඩායි" චිත්‍රපටයට කෙලින්ම සම්බන්ධ වෙනවා.

"ද රිටර්න් ඔෆ් ද ජෙඩායි" චිත්‍රපටයේ දැක්වෙන්නේ විශ්වය පුරා කුරිරු ආඥාදායක පාලනයක් ගෙන ගිය, ඩාර්ත් සිඩියස් නම් කෲර ඒකාධිපතියා පරාජයවී, ඔහුට විරුද්ධව සටන් වදින ලූක් ස්කයිවෝකර්, ප්‍රින්සස් ලේයා හා හාන් සෝලෝ ඇතුලත් කැරළිකරුවන් ජය ගන්නා ආකාරයයි.  

චක්‍රවාටය පුරා පැතුරුණු මහා අභ්‍යවකාශ සටන් හා ග්‍රහලෝක මත සිදුවූ විශාල අරගලයන් නිසා ඩාර්ත් සිඩියස් ගේ පාලනය බිඳ වැටෙනවා. එමෙන්ම ලූක් ස්කයිවෝකර්, සිය පියා කවුදැයි මුල් වරට දැන ගන්නවා. ඔහුගේ පියා (මෙන්ම ලේයා කුමරියගේද පියා) වන්නේ කලක් ඉමහත් චෛතිසික බලයක් ඇති ජෙඩායි නයිට් වරයෙකුව සිට පසුව අඳුරු විශ්ව ශක්තිය (The Dark Force) වෙත ඇදී ගොස් ඩාර්ත් සිඩියස් ගේ විශ්වාසවන්තම සෙනෙවියා බවට පත්වන ඩාර්ත් වේඩර් බව ඔහු දැන ගන්නවා.

විශ්ව අධිරාජ්‍යයේ කෲර ආඥාදායක
ඩාර්ත් සිඩියස්
ඩාර්ත් සිඩියස්, ඩාර්ත් වේඩර්ව අඳුරු විශ්ව ශක්තියට නම්මා ගත් ආකාරයටම ලූක් ස්කයිවෝකර්වද නම්මා ගැනීමට දැඩි ලෙස උත්සහ කරනවා. එය ව්‍යර්ථවූ තැන ලූක් ස්කයිවෝකර්ව මරා දැමීමට ඩාර්ත් සිඩියස් උත්සහ කරන අතර, එහිදී සිය පුත්‍රයා බේරා ගැනීම සඳහා ඩාර්ත් වේඩර්, සිය ස්වාමියාවූ ඩාර්ත් සිඩියස්ට පහර දෙනවා. 

මේ ද්වන්ධ සටනේදී ඩාර්ත් වේඩර් මාරාණ්තික තුවාල ලැබුවත් ඔහු ඩාර්ත් සිඩියස්ව මරා දමනවා. සිය මරණ මංචකයේදී ඩාර්ත් වේඩර්, ලූක් ස්කයිවෝකර්ට තමන් ඔහුගේ පියා බවත් ලේයා කුමරිය ඔහුගේ නියුන් සොයුරිය බවත් හෙලිකරනවා. ඩාර්ත් සිඩියස්ගේ මරණයත්, කැරලි කරුවන්ගේ දැවැන්ත ප්‍රහාර  හේතුවෙන් ගැලැක්ටික් අධිරාජ්‍යයේ සේනාවලට සිදුවන බලවත් හානිත් නිසා ගැලැක්ටික් එම්පයර් නම් චක්‍රවාට අධිරාජ්‍යය බිඳවැටී සාමය උදාවෙනවා.

ද ෆෝස් අවේකන්ස් - 2015

ෆෝස් අවේකන්ස් ආරම්භ වන්නේ රිටර්න් ඔෆ් ද ජෙඩායි චිත්‍රපටය අවසන්වී වසර 30කට පසුවයි. අධිරාජ්‍යයේ පරාජයෙන් පසු එයට සහයදුන් බලවත් සේනාධිනායකයින් හා වෙනත් බලවතුන් චක්‍රවාටයේ ඈත ග්‍රහලෝකවලට පලාගොස්, නැවත තමන්ට වාරයක් උදාවන තෙක් කල් බලනවා.

මේ අතර වසර 30කට පෙර කුරිරු චක්‍රවාට ඒකාධිපතිත්වයට එරෙහිව කල මහා සටන් මැකීයන මතකයන් පමණක් වන අතර කැරලිකරුවන් බිහිකල "නිව් රිපබ්ලික්" ප්‍රජාතන්ත්‍රවාදී චක්‍රවාට පාලනය දුර්වල, ඇණකොටා ගැනීම් බහුල එකක් වනවා.  මේ නිසා "ෆස්ට් ඕඩර්" ලෙසින් හැඳින්වුනු ඩාර්ත් සිඩියස් නායකත්වය දුන්, අඳුරු විශ්ව ශක්තියෙන් බලය ලබාගන්නා දුෂ්ඨ නයිට්වරුන් නැවත බලවත් වන අතර ඔවුන් "සුප්‍රීම් ලීඩර් ස්නෝක්" නම් අලුත් ආඥාදායකයෙකු වඩා රොක්වෙනවා.

නයිට්ස් ඔෆ් ෆස්ට් ඕඩර් පෙරමුණේ
සුප්‍රීම් නායක ස්නෝක්
ඒකාධිපති ස්නෝක් අඳුරු විශ්ව ශක්තියෙන් දැඩි ලෙස බලවත්වූ අයෙක් වන අතර ඔහු ලේයා කුමරිය (දැන් නිව් රිපබ්ලික් චක්‍රවාට රාජ්‍යයේ සේනාධිනායිකා ජෙනරාල් ලේයා ඕගානා) හා හාන් සෝලෝගේ එකම පුත්‍රයා වූ "කයිලෝ රෙන්" සිය බලයට නම්මා ගෙන ඔහු සිය දෙවැනියා බවට පත්කර ගන්නවා. මේ අතර හාන් සෝලෝ ලේයා කුමරියගෙන් වෙන්ව යලිත් සිය සුපුරුදු රැකියාව වූ හොරබඩු ජාවාරමට යොමුවෙනවා.

නිව් රිපබ්ලික් චක්‍රවාට රජයට තවත් ගැටලුවක් වන්නේ කලින් ඩාර්ත් සිඩියස්ගේ බලයට එදිරිව කැරලිකරුවන්ට ජවය සැපයූ ලූක් ස්කයිවෝකර් අතුරුදහන්වී සිටීමයි. ඔහු උවමනාවෙන්ම සැඟවී සිටින බව විශ්වාස කෙරෙන අතර සමහරුන් ඔහු මියගොස් ඇතැයි සිතනවා.

ලේයා චක්‍රවාටය පීරමින් ඔහුව සොයන්නේ නැවතත් බලවත්වන ස්නෝක්ට විරුද්ධව නායකත්වය ලබාදිය හැක්කේ බලසම්පන්නම ජෙඩායි නයිට් වරයා වන ලූක් ස්කයිවෝකර්ට පමණක් බවට විශ්වාස කරමින්. මේ අතර ස්නෝක්ගේ මගපෙන්වීමෙන් කයිලෝ රෙන් චක්‍රවාටයේ විවිධ ග්‍රහලෝක සිය අණසකට පතුරුවාගෙන් යලිත් "ඩෙත් ස්ටාර්" නම් දැවැන්ත අභ්‍යවකාශ අවියක් නිර්මාණය කරමින් සිටිනවා.

ස්නෝක් හා කයිලෝ රෙන්ගේ පාලනයට විරුද්ධව සටන්කල හැකි නව සටන්කාමීන් බිහිවන අයුරු "ද ෆෝස් අවේකන්ස්" චිත්‍රපටයෙන් පෙන්වනවා. මෙන් එක් අයෙක් වන්නේ "රේ" නැමති යුවතියයි. ජාක්කූ නැමත කාන්තාර ග්‍රහලෝකයේ අබලිද්‍රව්‍ය එකතුකරමින් ජීවත්වන ඇය විශ්වශක්තියට ඉතා සංවේදී, එයින් බලය ලබාගෙන ජෙඩායි නයිට්වරයෙකු විය හැකි අයෙක්. ඇයව පැහැර ගෙන ඇයගෙන් තොරතුරු ලබාගැනීමට උත්සහකල කයිලෝ රෙන්ගේ උත්සහය ව්‍යර්ථකරමින් ඔහුට වඩා විශ්ව ශක්තිය පාලනය කිරීමේ හැකියාව ඇත්තියක් බව ඔප්පු කරනවා.

අනෙක් තැනැත්තා වන්නේ "ෆින්" නැමති ස්ටෝම් ටෲපර් සෙබලෙක්. සිත් පිත් නැති අණපිලිපදින්නන් ලෙස උපතේ සිටම පුහුණු කරන ස්ටෝම් ටෲපර් සෙබලු අතරින් වෙනස් තැනැත්තෙක් වන ෆින්, ජාකූ ග්‍රහලෝකයේදී නිරායුධ වැසියන් ඝාතනය සඳහා සිය අවිය භාවිතා නොකිරීමේ හේතුව මත ප්‍රශ්ණකිරීමට බඳුන්වනවා. සිර අඩස්සියෙන් පලායන ෆින්, අහම්බෙන් රේ හා එකතුවනවා.

ද ෆෝස් අවේකන්ස් චිත්‍රපටය අවසන් වන්නේ "ලූක් ස්කයිවෝකර්" ස්වේඡ්චාවෙන් පිටුවහල්වී සිටින ග්‍රහලෝකය සොයාගත හැකි ස්ථානයේ සිතියමක් හමුවීමෙන්. සිතියමේ ආධාරයෙන් එම ග්‍රහලෝකයට යන රේ, ලූක් ස්කයිවෝකර් හමුවන ආකාරය පෙන්වමින් මේ චිත්‍රපටය අවසන්වනවා.

"ද ලාස්ට් ජෙඩායි (2017)" ආරම්භ වන්නේ "ද ෆෝස් අවෙකන්ස්" චිත්‍රපටය අවසනවන අවස්ථාවේ සිටයි.










__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments